ඩයලොග් ආසියාටා වෙත එහි මව් සමාගමෙන් ඩොලර් මිලියන 250ක්

ඩයලොග් ආසියාටා වෙත එහි මව් සමාගමෙන් ඩොලර් මිලියන 250ක්

ශ්‍රී ලංකාවේ ජංගම දුරකතන වෙළෙඳ පොළෙහි මුල් පෙළේ ක්‍රියාකාරිකයෙකු වන ඩයලොග් ආසියාටා පීඑල්සී සමාගම වෙත ඇමෙරිකානු ඩොලර් මිලියන 250ක ආයෝජනයක් සිදු කිරීමට එහි මවු සමාගම වන මැලේසියාවේ පිහිටි ආසියාටා සමූහය පියවර ගෙන ඇතැයි මාධ්‍ය වාර්තා කරයි. මෙම ආයෝජනය ශ්‍රී ලංකා රුපියල් වටිනාකමින් රුපියල් බිලියන 45.3 කි.

ඊට අදාළ එකඟතාව පසුගිය පෙබරවාරි 14 වැනිදා මැලේසියාවේදී සිදුව ඇතැයි මෙම වාර්තාව ගෙන එන “ද සන්ඩේ මොර්නිං” පුවත්පත සඳහන් කරයි. මෙම මුදල් ඉදිරි වසර තුනක කාලයකදී ඩයලොග් සමාගම වෙත යෙදවීමට ආසියාටා සමූහය තීරණය කර තිබේ. එහිදී ශ්‍රී ලංකාව තුළ ඩයලොග් ජාලයේ පුළුල් කිරීම සහ නව අංශ සංවර්ධනය වෙනුවෙන් මෙම මුදල් යෙදවෙයි.

මෙය 2015 වසරෙන් පසුව ආසියාටා මවු සමාගම විසින් ඩයලොග් ආසියාටා වෙත සිදු කරන විශාලතම ආයෝජනයද වෙයි. එම අවස්ථාවේදී ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය හරහා එම සමාගම එක්සත් ජනපද ඩොලර් මිලියන 175ක ආයෝජනයක් ඩයලොග් සමාගම වෙත සිදු කර තිබේ.

පසුගිය පෙබරවාරි 13 වැනිදා නිකුත් කරන ලද 2019 වසරේ දෙසැම්බර් 31 වැනිදායින් අවසන් වුණු වසර සඳහා වන ඩයලොග් ආසියාටා සමාගමේ මූල්‍ය වාර්තාවලට අනුව එහි සියලුම ව්‍යාපාරික අංශ ඉතා හොඳ සාර්ථකත්වයක් පෙන්නුම් කර සිටියි. 

එහිදී ජංගම දුරකථන, ස්ථාවර දුරකතන, චන්ද්‍රිකා රූපවාහිනි සේවාව සහ ජාත්‍යන්තර සන්නිවේදන යටිතල පහසුකම් සේවා සම්පාදනය ඇතුළු ක්ෂේත්‍ර ඔස්සේ පසුගිය වසර තුළදී ඩයලොග් ආසියාටා රැස් කරගෙන ඇති ඒකාබද්ධ ආදායම රුපියල් බිලියන 116.8 කි. එය 2018 වසරට සාපේක්ෂව 7%ක වර්ධනයක් පෙන්නුම් කර තිබේ.

Visits: 191

Leave a Reply

Your email address will not be published. Required fields are marked *