මධ්‍යම සංස්කෘතික අරමුදල වසර පහකදී ණය වූ හැටි හෙළි වෙයි

මධ්‍යම සංස්කෘතික අරමුදල වසර පහකදී ණය වූ හැටි හෙළි වෙයි

2015 වසරේදී රුපියල් මිලියන 3,000 ක ස්ථාවර තැන්පතුවක් මෙන්ම රුපියල් මිලියන 800ක මුදල් සංචිතයක් පැවැති මධ්‍යම සංස්කෘතික අරමුදල මේ වනවිට රුපියල් මිලියන 1,600ක ණය කරුවෙකු වී ඇතැයි එම අරමුදලේ වර්තමාන අධ්‍යක්ෂ ජනරාල් ගාමිණී අධිකාරි මහතා අනාවරණය කරයි.

පැවැති රජය විසින් අරමුදලේ පැවැති මෙම මුදල් එම අරමුදලේ අරමුණුවලට පටහැනි කරුණු සඳහා යොදවා ගැනීම මෙලෙස එම සංචිත අහිමි වී, අද වනවිට මධ්‍යම සංස්කෘතික අරමුදල ණයකරුවෙකු බවටද පත්වීමට හේතු වුණු බව අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කර සිටියි.

“අප මේ සංචිතය ගොඩ නඟා ගෙන තිබුණේ සංචාරක කර්මාන්තයෙන් උපයා ගත් මුදලින්. විදේශීය හා දේශීය සංචාරකයන් මෙරට පුරාවිද්‍යා ස්ථාන නැරඹීමට යාමෙන් අපිට ලැබුණු මුදලින් තමයි මේ අරමුදල ශක්තිමත් වුණේ. මේ මුදල යෙදවීමට තිබුණේ පුරාවිද්‍යා ස්ථාන රැක ගැනීමටයි. ඒත් මෙම මුදල් එම අරමුණුවලින් තොරව වෙනත් අරමුණු වෙත වියදම් කරලා” ඔහු පවසයි.

මෙහිදී වර්තමාන රජය යටතේ ක්‍රියාත්මක වැඩසටහන් හරහා මෙම ණය මුදල වසරක් තුළ ගෙවා දැමීමට හැකි වෙනු ඇතැයිද අධ්‍යක්ෂ ජනරාල්වරයා විශ්වාසය පළ කරයි. 

ඒ සඳහා සංචාරක සංවර්ධන අධිකාරියත්, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවත්, මධ්‍යම සංස්කෘතික අරමුදලත් එකතු වී පුරාවිද්‍යා ආශ්‍රිත සංචාරක කර්මාන්තය දියුණු කිරිමට පියවර ගන්නා බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කර සිටියි.

මේ අතර, මීට පෙර මාධ්‍ය වෙත අදහස් දක්වා සිටි මධ්‍යම සංස්කෘතික අරමුදලේ ලේකම් බන්ධුල හරිස්චන්ද්‍ර මහතාද, පැවති රජය මගින් අනවශ්‍ය ලෙස සේවකයන් බඳවා ගැනීමට යාම නිසා එම අරමුදලට දැඩි ලෙස හානි සිදුවුනු බවද සඳහන් කර සිටියේය.

“මධ්‍යම සංස්කෘතික අරමුදල පිහිටුවා තිබෙන පනත යටතේම සඳහන් වෙනවා එය පාලනය විය යුත්තේ පාලකමණ්ඩලයක් යටතේ බවට. එහෙත් පසුගිය රජය සමයේදී එම මණ්ඩලය නිසි ලෙස රැස්වුණේවත් නැහැ.” ලේකම්වරයා එහිදී පැවසීය.

ලේකම්වරයා සඳහන් කරන ආකාරයට අද වනවිට මධ්‍යම සංස්කෘතික අරමුදල රාජ්‍ය ආයතන වෙත මෙන්ම පෞද්ගලික අංශයේ ආයතන වෙතද ණය කරුවෙකු බවට පත්ව තිබේ. එහිදී එම අරමුදල වෙනුවෙන් ලබා දුන් ඉදිකිරීම් සේවා වෙනුවෙන් මෙම රුපියල් මිලියන 1,600 ක මුදල ගෙවීමට නියමිතව ඇත.

කෙසේ වෙතත් මෙම ව්‍යාපෘති සංඛ්‍යාව හෝ ඊට අදාළව ගෙවිය යුතු මුදල නිවැරදිව හඳුනාගැනීම සඳහා මේ වනවිට කටයුතු කරමින් සිටින බවත් මධ්‍යම සංස්කෘතික අරමුදලේ ලේකම්වරයා සඳහන් කර සිටියි.

Visits: 61

Leave a Reply

Your email address will not be published. Required fields are marked *