ගලධාරි හෝටලයේ අලුත්වැඩියාවට ලෝ ප්‍රකට Radisson හා සාකච්ඡාවක්

ගලධාරි හෝටලයේ අලුත්වැඩියාවට ලෝ ප්‍රකට Radisson හා සාකච්ඡාවක්

කොළඹ පිහිටි ගලධාරි (GALADARI) හෝටලය අලුත්වැඩියා කරමින් එය කළමනාකරණය කිරීම සඳහා ජාත්‍යන්තර Radisson Hotel Group සමාගම අදහස් කරමින් සිටින බව වාර්තා වෙයි. ඒ පිළිබඳව වන සාකච්ඡා මේ වනවිටත් ගලධාරි හොටෙල්ස් (ලංකා) පීඑල්සී සහ Radisson Hotel Group සමාගම අතර සිදු වෙමින් පවතින බව මේ පිළිබඳ කරුණු අනාවරණය කරන DailyFT පුවත්පත පවසයි. කෙසේ වෙතත් මේ සාකච්ඡාවල අවසන් තීරණයක් මෙතෙක් ලබා ගෙන නොමැත.

මෙහිදී මූලික වටයේ සාකච්ඡාව ලෙස ගලධාරි හෝටලය සතු කාමර 450ක ප්‍රමාණයක් අලුත්වැඩියා කර එය කළමනාකරණය කිරීමට Radisson Hotel Group සමාගම යෝජනා කර තිබේ. යම් ලෙසකින් මෙම සාකච්ඡා සාර්ථක වුවහොත් ගලධාරි හෝටලයේ නම වෙනුවට එම සමාගම යොදන නමකින් එය යළි සන්නාමකරණය වීමේ හැකියාව පවතී.

මෙම Radisson Hotel Group සමාගම මේ වනවිට ලොව රටවල් රැසකම සිය හෝටල් පවත්වාගෙන යන ලෝකයේ විශාලතම හෝටල් සමූහ අතරින් එකකි. අද වනවිට ඔවුන් සතු හෝටල් සංඛ්‍යාව 1,100ක් පමණ වන DailyFT පුවත්පත පවසයි. ඒ අතරින් Radisson Collection, Radisson Blue, Radisson, Radisson RED, Park Plaza, Inn by Radisson සහ Country Inn and Suites යන හෝටල් සන්නාම ප්‍රධාන වෙයි.

Radisson Hotel Group සමාගම යෝජනා කර ඇති ආකාරයට ගලධාරි හෝටලය අලුත්වැඩියා කිරීම අදියර දෙකකින් සිදු කිරිම සැලසුම වී ඇත. එහිදී පළමු අදියර ලෙස කාමර 450 අලුත්වැඩියා කෙරේ. දෙවැනි අදියර ලෙස ලොබි ප්‍රදේශය, පිළිගැනීමේ දොරටු අසල ප්‍රදේශය, කඩසාප්පු සහ ආපනශාලා පරිශ්‍රය අලුත්වැඩියා කෙරේ. 

1984 වසරේදී ඉදි කෙරුණු ගලධාරි හෝටලය මේ වන විට කොළඹ නගරයේ පිහිටි වසර 36ක් පැරණි හෝටලයක් බවට පත්ව ඇත. ඉන්පසුව කාලයේදී ඒ අවට අලුතින් හෝටල් රැසක්ම ඉදි කෙරී ඇති අතර, එම හෝටල් තුළ ගලධාරි හෝටලයට වඩා නවීන පහසුකම් රැසක් පැවතීම සංචාරකයන් තුළ ගලධාරි හෝටලය වෙත වැඩි ආකර්ෂණයක් හිමි නොවීමට හේතු වී තිබේ. ඒ අනුව මෙවැනි අලුත්වැඩියාවක් සිදු කිරීම කලක පටන්ම අනිවාර්යය අවශ්‍යතාවක්ව පැවතුණි.

අද වනවිට ගලධාරි හොටෙල්ස් (ලංකා) පීඑල්සී හි හිමිකාරීත්වය ගලධාරි සහෝදරයන් වෙත හිමිව ඇති අතර එහි සභාපතිවරයා වන්නේ මොහොමඩ් අබ්දුල්ලාතිෆ් ඊබ්‍රහිම් ගලධාරිය. අනෙක් සහෝදරයා වන්නේ සුහායිල් අබ්දුල්ලාතිෆ් ඊබ්‍රහිම් හස්සන් ගලධාරිය.

Visits: 189

Leave a Reply

Your email address will not be published. Required fields are marked *