ඩිජිටල් ගෙවීම් ක්‍රමවේද පිළිබඳව මහ බැංකුවම දැනුවත් කරයි
ඩිජිටල් ගෙවීම් ක්‍රමවේද පිළිබඳව මහ බැංකුවම දැනුවත් කරයි
මෙරට බලපත්‍රලාභී වාණිජ බැංකු, අනෙකුත් මූල්‍ය ආයතන සහ ලංකා ක්ලියර් (පෞද්) සමාගම මගින් දැනටමත් හඳුන්වාදී ඇති ඩිජිටල් ගෙවීමේ ක්‍රමවේද ජනප්‍රිය කරවීම සඳහා වැඩසටහන් පෙළක් සංවිධානය කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ ගෙවීම් සහ පියවීම් දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.
එහි පළමු පියවර ලෙස පසුගියදා ශ්‍රී ලංකා මහ බැංකු කාර්ය මණ්ඩලය වෙතම මෙම ඩිජිටල් ගෙවුම් ක්‍රමවේද පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් සහ ඔවුන් ඒ සඳහා බඳවා ගැනීමේ සැසියක් පසුගියදා එම පරිශ්‍රයේදී සංවිධානය කෙරී ඇත.
ජස්ට්පේ (JustPay) සහ QR කේත (QR Code) වැනි ගෙවීම් ක්‍රමවේද භාවිත කරන ජංගම ගෙවීම් යෙදුම් හරහා ගෙවීම් කටයුතු පහසුකම් සලසන ආයතන ගණනාවක් මෙම අවස්ථාවට සහභාගි වී ඇත. මෙම ජංගම ගෙවීම් යෙදුම් මගින් විදුලි, ජල, දුරකතන ආදී බිල්පත් පියවීමට මෙන්ම විවිධ බැංකු ගිණුම් අතර මුදල් හුවමාරුවට බැංකු කාර්ය මණ්ඩලය හුරු කිරීමේ අරමුණින් මෙම සැසිය පැවැත්වී තිබේ.
විශේෂයෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුව 2020 වසර ශ්‍රී ලංකාව තුළ ඩිජිටල් ගනුදෙනු වර්ෂය ලෙස නම් කර ඇති පසුබිමක, ජංගම දුරකතන මගින් ගෙවීම් කටයුතු සිදු කිරීමේ ප්‍රවණතාවක් ඇති කිරීම මෙවැනි වැඩසටහන් සංවිධානය කිරීමේ ඇති වැදගත් සාධකයක් බව මහ බැංකුව පවසයි.
එහිදී තාක්ෂණික වශයෙන් ශ්‍රී ලංකාව ඉදිරියට ගෙන යෑම සඳහා මෙම මෙහෙවර උපකාරී වනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව විශ්වාස කරන බවත්, එම නිසා ඩිජිටල් ගෙවීම් ක්‍රමවේද පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවෙහි ගෙවීම් සහ පියවීම් දෙපාර්තමේන්තුව විසින් විවිධ පියවර ගන්නා බවත් ඔවුන් සඳහන් කරයි.

Hits: 105