කහටගහ පතලේ මිනිරන් වෙත අගය එකතු කිරිමට ආයෝජකයෙකු සොයයි

කහටගහ පතලේ මිනිරන් වෙත අගය එකතු කිරිමට ආයෝජකයෙකු සොයයි

කහටගහ ග්‍රැෆයිට් ලංකා ලිමිටඩ් ආයතනයට අයත් කහටගත මිනිරන් පතලෙන් ලබා ගන්නා මිනිරන් සඳහා අගය එකතු කිරීමේ කාර්යය වෙනුවෙන් ආයෝජකයෙකු තෝරා පත් කරගැනීමට කටයුතු යොදා ඇතැයි රජය පවසයි.

මේ සඳහා ආයෝජකයන් වෙත ආරාධනා කිරීමටත් – ව්‍යාපෘති කමිටුවක් සහ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරනු ලබන සාකච්ඡා සම්මුති කමිටුවක් මඟින් ඉදිරිපත් වන යෝජනා ඇගයීමට ලක් කර – සුදුසු ආයෝජකයෙකු තෝරා ගෙන යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමටත් කර්මාන්ත හා සැපයුම් කළමනාකාර අමාත්‍යවරයා ඉදිරිපත් කර ඇති යෝජනාව වෙත ඊයේ දිනයේදී කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

මෙම කටයුතු රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරීත්ව ක්‍රමය (PPP – Private Public Partnership) මත පදනම්ව ක්‍රියාත්මක ව්‍යාපෘතියක් ලෙස සිදු කෙරෙන බවත් රජය සඳහන් කරයි.

මෙම කහටගහ ග්‍රැෆයිට් ලංකා ලිමිටඩ් ආයතනය පූර්ණ වශයෙන් රජය සතු සමාගමක් වන අතර, කහටගහ පතල හරහා මාසිකව මිනිරන් මෙට්‍රික් ටොන් 65ත් 70ත් අතර ප්‍රමාණයක් කැණීම සිදු කෙරෙන බවත් පැවසෙයි. වාර්තාවලට අනුව ශ්‍රී ලංකාවේ මෙම මිනිරන් සැපයුම ලෝක වෙළෙඳ පොළේ මිනිරන් අවශ්‍යතාවයෙන් 7% කි. 

එම තත්ත්වය මත ජාත්‍යන්තර මිනිරන් වෙළෙඳ පොළ වෙත බලපෑමක් ඇති කිරීමට මෙරට මිනිරන් නිෂ්පාදනයට හැකියාවක් නොමැති බැවින්, මෙම මිනිරන් සඳහා අගය එකතු කිරීම අනිවාර්යයෙන්ම සිදු කළ යුතුව ඇති බව හඳුනාගෙන ඇතැයිද රජය පවසයි.

ඒ අනුව කැණීම් කර සපයනු ලබන මිනිරන් සඳහා අගය එකතු කිරීමේ ක්‍රියාවලිය සිදු කිරිම වෙනුවෙන් පමණක් තරගකාරී ලංසු කැඳවීමේ ක්‍රමය යටතේ දේශීය හා විදේශීය ආයෝජකයන්ගෙන් අභිලාෂය පළ කිරීම සඳහා ආරාධනා කැඳවීමට රජය තීරණය කර තිබේ.

මිනිරන් හෙවත් ග්‍රැෆයිට් (graphite) අමුද්‍රව්‍යයක් ලෙස ඍජුව කර්මාන්තයෙහිදී භාවිතයට ගත නොහැක. ඒ සඳහා එය රසායනිකව යම් වෙනස් කිරීමකට ලක් කළ යුතුය. එහිදී ග්‍රැෆයිට්හි අඩංගු අණුක ව්‍යුහයේ කාබන් ස්ථරය වෙනස් කිරීමෙන් ග්‍රැෆීන් නිර්මාණය කෙරේ. ග්‍රැෆීන් සඳහා ලොව විශාල ඉල්ලුමක් පවතී.

විශේෂයෙන් ලිහිසිකාරක වර්ග, බ්‍රේක් පෑඩ් සහ වාහන බැටරි නිෂ්පාදනය සඳහා ශ්‍රී ලංකාවේ මිනිරන් වෙත ලොව ඉහළ ඉල්ලුමක් පවතින බව හඳුනාගෙන ඇත. වාර්තා පවසන ආකාරයට ග්‍රැෆයිට් මෙට්‍රික් ටොන් 01ක් මේ වනවිට අපනයනය කෙරෙන මිල ඇමරිකානු ඩොලර් 2,000ක් වන අතර, ග්‍රැෆීන් කිලෝග්‍රෑමයක අපනයන වටිනාකම ඩොලර් 5000 ක් වෙයි. මෙම කරස්නාගල පතලින් ඉදිරි වසර 20ක කාලයක් තුළ ලබාගැනීමට අපේක්ෂිත මිනිරන් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 53000 කට අධික බවත් කහටගහ ග්‍රැෆයිට් ලංකා ලිමිටඩ් ආයතනය මීට පෙර සඳහන් කර තිබුණි.

Visits: 151

Leave a Reply

Your email address will not be published. Required fields are marked *