ඊ.ටී.අයි. ගනුදෙනුව ගැන මහජනතාවගෙන් ලිඛිත පැමිණිලි ප්‍රකාශ හෝ තොරතුරු ඉල්ලයි

ඊ.ටී.අයි. ගනුදෙනුව ගැන මහජනතාවගෙන් ලිඛිත පැමිණිලි ප්‍රකාශ හෝ තොරතුරු ඉල්ලයි

එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට් (ETI) සමාගමේ ඊ.ටී.අයි. ෆිනෑන්ස් ලිමිටඩ්හි සිදුව ඇතැයි පැවසෙන නීතිවිරෝධී ගනුදෙනු සම්බන්ධයෙන් ලිඛිත නියෝජනයන්, පැමිණිලි ප්‍රකාශ හෝ තොරතුරු ඉදිරිපත් කිරීමට ඕනෑම පුද්ගලයෙකුට/පුද්ගලයන්ට හෝ සංවිධානවලට ආරාධනා කරන බව ඒ පිළිබඳ පරීක්ෂණ පවත්වන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව නිවේදනයක් මගින් දැනුම් දී සිටියි.

මෙම කොමිෂන් සභාවේ ලේකම් ජී.ඩී.ඒ. උපාලි මහතා විසින් මේ පිළිබඳව වන පුවත්පත් දැන්වීම් අද පළ කෙරුණු දිනපතා පුවත්පත් කිහිපයකම ප්‍රසිද්ධ කර තිබේ. 

ඒ අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියාමනය කරනු ලැබූවා වූත්, බරපතල මූල්‍ය ගැටලුවලට මුහුණ පෑම නිසාවෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ මැදිහත්වීමට සහ ස්වකීය තැන්පතුකරුවන්ගේ ගනුදෙනු බේරුම් කිරීම සඳහා වත්කම් විකිණීමට හේතු වූත් මූල්‍ය සමාගමක් වන ඊ.ටී.අයි. ෆිනෑන්ස් ලිමිටඩ් (ඊ.ටී.අයි.) සමාගම සම්බන්ධයෙන් සිදුවිණැයි කියන වැරදි ක්‍රියා, අක්‍රමිකතා සහ අයථා ක්‍රියා මෙහිදී පරීක්ෂාවට ලක් කෙරේ.

මෙකී වත්කම්වලට ස්වර්ණමහල් ෆිනෑන්ෂල් සර්විසස් පීඑල්සී, ඊඒපී බ්‍රෝඩ්කාස්ටිං කම්පැනි ලිමිටඩ් සහ එහි අනුබද්ධසමාගම, ඊ.ඒ.පී. ෆිල්ම්ස් ඇන්ඩ් තියටර්ස් ලිමිටඩ් (සහ එහි පාලිත සමාගම්); හොටෙල් සැෆයාර් (පුද්) සමාගම ; ස්වර්ණමහල් ජුවලර්ස් ලිමිටඩ් සහ ඊ.ටී.අයි. ෆිනෑන්ස් පීඑල්සී සමාගම සතු වෙනත් නිශ්චත වත්කම් ඇතුළත් වෙයි.

එසේම විදේශිකයන් විසින් මාධ්‍ය ආයතනයන්හි අයිතිය ලබා ගැනීම පිළිබඳව ශ්‍රී ලංකාවේ නීති යටතේ පරිසීමා කිරීම් කඩකරලමින් ඉහත ආයතන, බ්ලූ සමිට් කැපිටල් මැනේජ්මන්ට් ප්‍රයිවඩ් ලිමිටඩ් සහ බෙන් හෝල්ඩිංග්ස් ප්‍රයිවට් ලිමිටඩ් යන සමාගම්වලින් සැදුම්ලත් මූල්‍ය ආයතන සමූහයකට (කොන්සෝටියම්) විකිණීම.

මීට අමතරව, විදේශිකයන් විසින් නිශ්චල දේපළ මිලදී ගැනීම තහනම් කෙරෙන ශ්‍රී ලංකාවේ නීති කඩකරලමින් එකී පාර්ශ්වයට “ඊටීඅයි” ආයතනයෙහි වත්කම් විකිණීම

යනාදිය සම්බන්ධයෙන් මහජනතාවගෙන් මෙම කරුණු විමසීම සිදු කරන බව ජනාධිපති කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනයේ උපලේඛනය තුළ සටහන්ව ඇත.

මෙහිදී සිද්ධිමය කරුණු සඳහන් කිරීමේදී එම කරුණු දැක්වීම් හැකි සෑම විටකදීම දිවුරුම් ප්‍රකාශ මගින් සහ තහවුරු කරන ලේඛන මගින් තහවුරු කළ යුතු බවත් ඔවුන් සඳහන් කර සිටියි. 

මෙම ලිඛිත නියෝජනයන්, පැමිණිලි, ප්‍රකාශ, තොරතුරු, දිවුරුම් ප්‍රකාශ සහ ලේඛන සිංහල, දෙමළ හෝ ඉංග්‍රීසි භාෂාවෙන් ඉදිරිපත් කළ හැකිය. එහිදී තොරතුරු සපයන අයගේ නම, ලිපිනය හා දුරකතන අංකය එම ලිඛිත කරුණු දැන්වීම්, පැමිණිලි, ප්‍රකාශ හෝ තොරතුරු සමඟ පැහැදිලිව සඳහන් කළ යුතු බවද කොමිෂන් සභාව නිවේදනයේ දක්වා තිබේ.

2020 පෙබරවාරි 29 දින හෝ එදිනට පෙර කොමිෂන් සභාව වෙත මෙම ලිඛිත කරුණු දැක්වීම්, පැමිණිලි, ප්‍රකාශ හෝ තොරතුරු ඉදිරිපත් කළ යුතුව ඇත. මෙහිදී ලියාපදිංචි තැපෑලෙන් එම කරුණු එවීම වඩා යෝග්‍ය බවත් එහි සටහන් කර තිබේ.

කොමිෂන් සභාව වෙත ලැබුණු ලේඛන පරීක්ෂා කිරීමෙන් අනතුරුව වාචිකව සාක්ෂි දීම සඳහා ඕනෑම පුද්ගලයෙකු කැඳවනු ලැබීමටද ඉඩ ඇති බව පවසන එහි ‍ලේකම්වරයා, වාචික සාක්ෂි දීම සඳහා අදාළ දිනයන් නිසි පරිදි දැනුම් දෙන බවත පවසා සිටියි.

මෙහිදී කොමිෂන් සභාව ඉදිරියේ සාක්ෂි දෙන ඕනෑම තැනැත්තෙකු හට සංශෝධිත පරීක්ෂණ කොමිෂන් සභා පනත (393 පරිච්ඡේදයේ) සහ මෙම ජනාධිපති කොමිෂන් සභාව පත් කිරීමට අදාළ ගැසට් නිවේදනයේ විධිවිධාන සලසා ඇති පරිදි සාක්ෂිකරුවන්ට අයත් වරප්‍රසාද සහ විශේෂ මුක්තීන්වලට හිමිකම් කියන බවත් එහි සඳහන් වෙයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පරීක්ෂණ කොමිෂන් සභා පනතේ (393 අධිකාරිය) අංක 02 වගන්තියේ විධිවිධානවලට අනුකූලව 2020 ජනවාරි 09 දින අංක 2157/43 දරන අති විශේෂ ගැසට් පත්‍රය යටතේ මෙම ඊ.ටී.අයි.අයි ගනුදෙනු සම්බන්ධ පරීක්ෂණ පැවැත්වීම සඳහා පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව පත් කෙරිණි. 

මෙම ලිඛිත දැනුම් දීම්, ලේකම්, “ඊ.ටී.අයි” ගනුදෙනු සම්බන්ධ පරීක්ෂණ පැවැත්වීම සඳහා පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව‍, ශාවස්ති මැදුර, නො. 32, ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දු මාවත, කොළඹ 07 යන ලිපිනයට ලබා දිය යුතුය. එහි දුරකතන අංකය 011-2678416 යන්නයි.

Visits: 76

Leave a Reply

Your email address will not be published. Required fields are marked *