සුප්‍රීම් ටීවී විකාශයෙන් TV Lanka ඩිජිටල් විකාශයට බාධා

සුප්‍රීම් ටීවී විකාශයෙන් TV Lanka ඩිජිටල් විකාශයට බාධා 

ටෙලිවිෂන් ඇන්ඩ් රේඩියෝ නෙට්වර්ක්ස් පෞද්ගලික සමාගම මගින් පවත්වාගෙන යනු ලබන TV Lanka Digital TV රූපවාහිනි සේවාව වෙත සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩිංග්ස් පෞද්ගලික සමාගමේ Supreme Tv  විකාශනය මගින් බාධා පමුණුවා ඇතැයි වාර්තා වෙයි. අද පෙවරුවේ සිට මෙම බාධා කිරීම් එල්ල වන බව දැනගන්නට ලැබී තිබේ.

මෑතකදී ඇරඹූ මෙම සුප්‍රීම් ටී.වී. නාලිකාව කොළඹ ප්‍රදේශය තුළ සිය නාලිකාව විකාශය සිදු කරන රූපවාහිනි සංඛ්‍යාතය වන යූ.එච්.එෆ්. නාලිකා 49 ම TV Lanka සමාගම දැනට වසර ගණනාවක සිට කොළඹ ඇතුළු තදාසන්න නගර වෙත සිය ඩිජිටල් රූපවාහිනි සේවාව පවත්වාගෙන යනු ලබන සංඛ්‍යාතයම වීම ඊට හේතු වී ඇත. 

මේ අවස්ථාවත් සමගින්ම අද පෙරවරුවේ සිට සිය පාරිභෝගිකයන් දැඩි අපහසුතාවට පත්ව තිබෙන බවත් ටෙලිවිෂන් ඇන්ඩ් රේඩියෝ නෙට්වර්ක් සමාගම පවසා සිටියි. 

මීට පෙර අවස්ථා දෙකකදීද සුප්‍රීම් ටී.වී. රූපවාහිනි නාලිකාව සිය ඩිජිටල් විකාශය වෙත බාධා එල්ල කළ බව ටෙලිවිෂන් ඇන්ඩ් රේඩියෝ නෙට්වර්ක්ස් පෞද්ගලික සමාගමේ සභාපතිවරයා වන බී.ඒ.සී. අබේවර්ධන මහතා “ඉකොනොමි ඇන්ඩ් බිස්නස් ශ්‍රී ලංකා” වෙත පවසා සිටියේය.

“මීට පෙර අවස්ථා දෙකකදී පැය දෙකක පමණ කාලයක් මෙම සුප්‍රීම් ටී.වී. නාලිකාව ටී.වී. ලංකා ඩිජිටල් ටී.වී. විකාශය වෙත බාධා කළා. එම අවස්ථා දෙකේදීම එම සංඛ්‍යාත හිමි පුද්ගලයන්ට කළ දැනුම් දීම් අනුව එම බාධාවන් නවත්වා දැමුවා. ඒත් අද දවසේදී යළිත් එම බාධා කිරීම් සිදු වෙනවා.” අබේවර්ධන මහතා පවසයි.

ඒ අනුව ඉදිරියේදී මෙම බාධා කිරීම් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත කරුණු දක්වන බවත්, නීතිමය ක්‍රියාමාර්ග හරහා මෙම බලහත්කාරී ක්‍රියාව නැවැත්වීමට කටයුතු කරන බවත් අබේවර්ධන මහතා සඳහන් කරයි.

“ටී.වී. ලංකා ඩිජිටල් නාලිකාව දැනට මේ සේවය ලබා දෙන යූ.එච්.එෆ්. රූපවාහිනි සංඛ්‍යාත ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා ගිහිල්ලා එතැනින් පවා නිරවුල් කරලා අපිට ලබා දුන්න සංඛ්‍යාතයක්. ඒ නිසා දැන් මේ සංඛ්‍යාතවල හිමිකම ගැන කිසිම ගැටලුවක් නැහැ. අබේවර්ධන මහතා පවසයි.

සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩිංග්ස් පෞද්ගලික සමාගමේ මෙම සුප්‍රීම් ටී.වී. නාලිකාව දැනට ඩයලොග් ටී.වී. රූපවාහිනි සේවාව හරහා චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේද, ශ්‍රී ලංකා ටෙලිකොප් පියෝටීවී සේවාව හරහා අයි.පී.ටී.වී. තාක්ෂණය හරහාද සිය විකාශන කටයුතු සිදු කරයි.

මීට අමතරව ඔවුන් තමන් සතුව රට තුළ මෙම නාලිකාව විකාශය කිරීම සඳහා අදාළ රූපවාහිනි විකාශන සංඛ්‍යාතද පවතින බව ප්‍රසිද්ධ කර තිබේ. එහෙත් මේ දක්වා එම සංඛ්‍යාත හරහා නාලිකාව නිල වශයෙන් විකාශය කිරීමක් සිදු කර නැත.

ටෙලිවිෂන් ඇන්ඩ් රේඩියෝ නෙට්වර්ක්ස් පෞද්ගලික සමාගම මීට පෙර සිය ඉලෙක්ට්‍රෝටෙක්ස් නම් සමාගම හරහා යූ.එච්.එෆ්. සංඛ්‍යාත යොදා ගනිමින් TV Lanka රූපවාහිනි නාලිකාව නමින් මෙරට තුළ රූපවාහිනි නාලිකාවක් විකාශය කළ අතර, 2012 වසරේ සිට එම සේවාව නවත්වමින් ඒ සඳහා යොදා ගත් සංඛ්‍යාත භාවිත කරමින් මෙරට තුළ පළමුවරට ඩිජිටල් රූපවාහිනි විකාශයක් සිදු කිරීමට සමත් විය.

එහෙත් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මෙම කටයුත්තට බාධා කරමින් ඊට එරෙහිව ශේෂ්ඨාධිකරණය දක්වා ගිය අතර, පසුව එම සංඛ්‍යාතවල හිමිකම ටෙලිවිෂන් ඇන්ඩ් රේඩියෝ නෙට්වර්ක්ස් පෞද්ගලික සමාගම වෙත ලබා දී තිබේ.

අද වනවිට මෙම සේවාව කොළඹ සහ ඒ අවට ප්‍රදේශවලට අමතරව යාපනය දිස්ත්‍රික්කය තුළ ඉතාමත් හොඳින් පවත්වාගෙන යමින් තිබෙන අතර, එය තවදුරටත් ව්‍යාප්ත කිරීම සඳහා කටයුතු යොදන බවත් පවසයි.

ටී.වී. ලංකා ඩිජිටල් රූපවාහිනි සේවාවේ ප්‍රධාන විකාශනාගාරය කොළඹ පිහිටා ඇති අතර, මේ වනවිට ඔවුන් දොම්පේ ප්‍රදේශයේ ඊට අදාළ සන්නිවේදන කුලුණද ඉදි කර ඇතැයි ටෙලිවිෂන් ඇන්ඩ් රේඩියෝ නෙට්වර්ක්ස් පෞද්ගලික සමාගම සඳහන් කරයි.

Visits: 655

Leave a Reply

Your email address will not be published. Required fields are marked *