ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ නව සභාපති ලෙස මනිල් ජයසිංහ මහතා පත්වෙයි

ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ නව සභාපති ලෙස මනිල් ජයසිංහ මහතා පත්වෙයි

ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ (CA Sri Lanka) 25 වැනි සභාපතිවරයා ලෙස මෙරට ගණකාධිකරණ ක්ෂේත්‍රයේ විශිෂ්ට වෘත්තිකයෙකු ලෙස පිළිගැනීමට ලක්ව සිටින මනිල් ජයසිංහ මහතා තේරී පත්ව තිබේ.

ජාත්‍යන්තර ගණකාධිකරණ සංසදයේ (IFAC) සභාපති ආචාර්ය ඉන් කී ජූ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා කොළඹ ෂැංග්‍රි-ලා හෝටලයේදී පැවැත්වුණු උත්සවයකදී ඒ මහතා වෙත මෙම තනතුර ප්‍රධානය කෙරී ඇත.

මෙම උත්සවයට ජාත්‍යන්තර ගණකාධිකරණ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් ඇතුළු ආරාධිත අමුත්තන්, වරලත් ගණකාධිකාරීවරුන්, ව්‍යාපාරික හා ආයතනික ප්‍රධානීන්, මෙරට ගණකාධිකරණ ක්ෂේත්‍රයේ ප්‍රතිපත්ති සම්පාදකයන් ඇතුළු නියාමකයන් ආදී විශාල පිරිසක් සහභාගී වී තිබේ. 

මෙහිදී ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ හිටපු සභාපති ජගත් පෙරේරා මහතා එහි නව සභාපතිවරයා ලෙස මනිල් ජයසිංහ මහතාව ප්‍රකාශයට පත් කර ඇත.

මනිල් ජයසිංහ මහතා ගණකාධිකරණ වෘත්තිකයෙකු ලෙස දේශීය, කලාපීය මෙන්ම ජාත්‍යන්තර මට්ටමෙන් ඉතා ඉහළ පිළිගැනීමකට ලක්ව සිටින වසර 37ක පුළුල් වෘත්තීයමය පලපුරුද්දකට උරුමකම් කියන්නෙකි. වර්තමානයේදී ඔහු Ernst & Young විගණන ආයතනයේ ජ්‍යෙෂ්ඨ හවුල්කරුවෙකුද වන අතර, එහි බැංකු හා මූල්‍ය ක්ෂේත්‍ර වෘත්තීය පුහුණු අධ්‍යක්ෂ ලෙසද ක්‍රියා කරයි.

කොළඹ ශාන්ත ජෝෂප් විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකු වන ජයසිංහ මහතා ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ හා එක්සත් රාජධානියේ වරළත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ අධි සාමාජිකයෙකු වන අතර, ලන්ඩන් වරලත් රාජ්‍ය මූල්‍ය හා ගණකාධිකාරි ආයතනයේ (CIPFA, London) සාමාජිකයෙකුද වෙයි.

ජයසිංහ මහතා ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ පාලක මණ්ඩල සාමාජිකයෙකු ලෙස 2013 වර්ෂයේ සිට ක්ෂේත්‍රය තුළ කටයුතු කරයි. එසේම ආයතනයේ ඇති බොහෝ කමිටු සංඛ්‍යාවකද ඒ මහතා සාමාජිකත්වය දරයි.

Visits: 103

Leave a Reply

Your email address will not be published. Required fields are marked *