ශ්‍රී ලංකන්හි ආසන්නතම වංචාව රාජ්‍ය ව්‍යවසායන්හි ඇති අයහපත් කළමනාකරණයට තවත් උදාහරණයක් – ඇඩ්වොකාටා බුද්ධි මණ්ඩලය

ශ්‍රී ලංකන්හි ආසන්නතම වංචාව රාජ්‍ය ව්‍යවසායන්හි ඇති අයහපත් කළමනාකරණයට තවත් උදාහරණයක් – ඇඩ්වොකාටා බුද්ධි මණ්ඩලය

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරියෙකු විසින් සිදු කර ඇති බවට පසුගියදා අනාවරණය කෙරුණු ආසන්නතම බරපතල මූල්‍ය වංචාව මේ වනවිට ශ්‍රී ලංකාවේ රාජ්‍ය ව්‍යවසායන්හි කිදාබැස ඇති අයහපත් කළමනාකරණයට තවත් කදිම උදාහරණයක් බව ඇඩ්වොකාටා බුද්ධි මණ්ඩලය පවසයි.

මෙම හිටපු ප්‍රධාන විධායක නිලධාරියා සිය ධුර කාලය තුළදී යුරෝපයේ එයාර් බස් සමාගමෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය වෙත මිලදී ගත් ගුවන් යානා වෙනුවෙන් ලබා ගත් එක්සත් ජනපද ඩොලර් මිලියන 2කට ආසන්න අල්ලස් මුදලක් සම්බන්ධයෙන් මෙම අනාවරණය සිදුවිය. එහිදී ඔහුගේ බිරිඳද මීට සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වී තිබේ. 

ඒ අනුව මේ වනවිට ඔවුන් දෙපළම අත්අඩංගුවට ගැනීමට නීතිපතිවරයා මේ වනවිටත් උපදෙස් ලබා දී තිබේ. එසේම ජනාධිපති ගෝඨාභය රාපක්ෂ මහතාද මෙම වංචාව සම්බන්ධයෙන් පරීක්ෂණ  පවත්වන ලෙස නියෝග ලබා දී ඇත. 

ඇඩ්වොකාටා බුද්ධි මණ්ඩලය සඳහන් කරන ආකාරයට අද වනවිට මහාභාණ්ඩාගාරයට බරක් වී තිබෙන රාජ්‍ය ව්‍යවසායන් අතරින් ප්‍රමුඛ ස්ථානයක් ශ්‍රී ලංකන් ගුවන් සමාගම වෙත හිමිව තිබේ. 

2018 වසරේ නිකුත් කෙරුණු මුදල් අමාත්‍යාංශය වාර්ෂික වාර්තාවට අනුව, 2018 වසරේදී පමණක් ගුවන් සමාගම ලැබූ දළ අලාභය රුපියල්  බිලියන 17.2කි. එසේම 2009 වසරේදී සමාගම පෞද්ගලීකකරණය කිරීමෙන් අනතුරුව ගෙවුනු කාලසීමාව තුළදී ලබා ඇති සමස්ත අලාභය රුපියල්  බිලියන 169කට අධික වෙයි.

විගණකාධිපති ජනරාල් දෙපාර්තමේන්තුව මගින් 2018 වසරේදී නිකුත් කෙරුණු විශේෂ වාර්තාවකින් පවා ශ්‍රී ලංකන් ගුවන් සමාගම තුළ සිදුව ඇති අක්‍රමිකතා සම්බන්ධයෙන් සඳහන් කෙරී තිබුණු බව ඇඩ්වොකාටා පවසයි. 

“එහිදී උපදේශන ආයතන හරහා ලබා දෙන ප්‍රසම්පාදන උපදෙස් ක්‍රියාත්මක කිරීමට අපොහොසත් විම, සැලසුම් ක්‍රියාත්මක කිරීමේදී ඒ සඳහා වන පාලන ක්‍රමවේදයක් හඳුන්වාදීමට අපොහොසත් වීම, ගුවන් යානා ඇණිය පුළුල් කිරීමේදී ඒ පිළිබඳව වන නිසි පිරිවැය-ප්‍රතිලාබ විශ්ලේෂණයක් සිදුව නොතිබීම, ගුවන් යානා මිලදී ගැනීමේ ක්‍රමවේදය පිළිබඳව ප්‍රමාණවත් විශ්ලේෂණයක් සිදු කිරීමට අපොහොසත්වීම සහ සිය ගුවන් යානා ඇණිය පුළුල් කිරීමේදී රජයේ ප්‍රසම්පාදන උපදෙස් පිළිනොපැදීම එම කරුණු වෙනවා.”

ඇඩ්වොකාටා බුද්ධි මණ්ඩලපය මෑතකදී නිකුත් කළ සිය State of State Enterprises in Sri Lanka වාර්තාව තුළද මෙම රාජ්‍ය ව්‍යවසායන් අත පත්ව ඇති අයහපත් තත්ත්වය පිළිබඳව කරුණු දක්වා තිබුණි. විශේෂයෙන්ම අනිසි දේශපාලන බලපෑම නිසා ගනු ලබන ප්‍රතිපත්ති, පත් කිරීම්, ව්‍යාපාරික තීරණ නිසා ඇති වන දුර්වල කළමනාකරණය සහ මූල්‍ය වංචා මෙලෙස එම ව්‍යවසායන් ඉතාමත් දරුණු ලෙස පාඩු ලබන තත්ත්වයට පත් කර ඇතැයි එහි සඳහන්ව තිබේ. 

එහිදී ශ්‍රී ලංකන් ගුවන් සේවය තුළ සිදුවුණු මෙම ප්‍රබල මූල්‍ය වංචාව ඊට ඇති ආසන්නතම හොඳම උදාහරණය බවද ඇඩ්වොකාටා පෙන්වා දෙයි.

Visits: 56

Leave a Reply

Your email address will not be published. Required fields are marked *