ලෝක බැංකු දකුණු ආසියානු කලාපීය උප සභාපති හාට්විග් ශේෆර් සිව් දින සංචාරය නිමා කරයි

ලෝක බැංකු දකුණු ආසියානු කලාපීය උප සභාපති හාට්විග් ශේෆර් සිව් දින සංචාරය නිමා කරයි

සිව් දින සංචාරයක් සඳහා මෙරටට පැමිණි ලෝක බැංකු දකුණු ආසියානු කලාපීය උප සභාපති හාට්විග් ශේෆර් මහතා පසුගියදා ඉතා සාර්ථක සංචාරයක් නිමා කළ බව ලෝක බැංකුවේ මෙරට නියෝජනය සඳහන් කරයි. මෙහිදී ඔහු කොළඹ, මහනුවර, කෑගල්ල ඇතුළු ලෝක බැංකු ව්‍යාපෘති ක්‍රියාත්මක වන ස්ථාන රැසක් වෙතම ගොස් නිරීක්ෂණය කර තිබේ.

මෙම සංචාරයේදී ශේෆර් මහතා, ධනාත්මක බලපෑමක් ඇති කිරීම උදෙසා නව රජය යටතේ වන සංවර්ධන ප්‍රමුඛතා සහ ලෝක බැංකුවේ මූල්‍ය හා දැනුම උපරිම ලෙස යෙදවිය හැකි ආකාරය පිළිබඳව වඩා හොඳ අවබෝධයක් ලබා ගත් බව ලෝක බැංකුව පවසයි.

“තාක්ෂණය හා නවෝත්පාදනය ශ්‍රී ලංකාවේ අනාගත සංවර්ධනයට හේතු වෙනවා. විශේෂයෙන්ම මහනුවර සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවල කළ සංචාරයේදී ප්‍රවාහනය හා ජලය හා සම්බන්ධ නව්‍ය විසඳුම් මගින් පොදු සේවා සැපයීම වැඩි දියුණු කළ  හැකි ආකාරය වටහා ගත්තා. ඒ වගේම ආර්ථිකය නංවාලීමට, රැකියා උත්පාදනය කිරීමට සහ ජනතාව දිළිදුකමින් මුදවා ගැනීමට පුද්ගලික අංශය උපයෝගී කරගැනීමට හැකි ආකාරය පිළිබඳවද මම නිරීක්ෂණය කළා.” දකුණු ආසියානු කලාපීය උප සභාපතිවරයා  පවසා ඇත.

ඒ අනුව ලෝක බැංකු අරමුදල් යටතේ ක්‍රියාත්මක කෑගල්ල දිස්ත්‍රික්කයේ ග්‍රාමීය ජල පවිත්‍රාගාරයක් මෙහිදී ඔහුගේ නිරීක්ෂණයට බඳුන් වී ඇත. මෙය ග්‍රාමීය ප්‍රජාවන්ට පවිත්‍ර කළ නල ජලය සපයන ශ්‍රී ලංකාවේ ඇති එකම ව්‍යාපෘතිය බවත් ලෝක බැංකුව පවසයි. 

එසේම ලෝක බැංකු ආධාර යටතේ ඉදිකිරීමට යෝජිත මහනුවර බහුකාරිය ප්‍රවාහන පර්යන්තයද ඒ මහතාගේ නිරීක්ෂණයට ලක්ව තිබේ. මෙමගින් මහනුවර නගරයේ ප්‍රවාහන ක්ෂේත්‍රය තුළ ආරක්ෂාව වැඩිදියුණු කර තදබදය අඩු කර ගත හැකි බව ලෝක බැංකුවේ අදහස වී ඇත.ලෝක බැංකුව යටතේ ක්‍රියාත්මක ක්‍රියාකාරී ජාත්‍යන්තර සංවර්ධන සංගමය (IDA) සහ ප්‍රතිසංස්කරණ හා සංවර්ධනය සඳහා වූ ජාත්‍යන්තර බැංකුව (IBRD) මගින් මෙරට තුළ ක්‍රියාත්මක කරන ව්‍යාපෘති සංඛ්‍යාව 18 කි. එහි සමස්ත වටිනාකම එක්සත් ජනපද ඩොලර් බිලියන 2ක් පමණ වන බවත් ලෝක බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.

Visits: 28

Leave a Reply

Your email address will not be published. Required fields are marked *