ලකී ලංකා සමාගමත් රජයේ SME ණය සහන පැකේජය සහාය ඉල්ලලා

ලකී ලංකා සමාගමත් රජයේ SME ණය සහන පැකේජය සහාය ඉල්ලලා

ලකී ලංකා යෝගට් ඇතුළු කිරි ආශ්‍රිත නිෂ්පාදන වෙළෙඳ පොළට නිකුත් කරන ලකී ලංකා මිල්ක් ප්‍රොසෙසිං සමාගමද රජයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සඳහා වූ ණය සහන පැකේජය වෙත ඉල්ලුම් කර ඇති සමාගම් අතර වන බව වාර්තා වෙයි.

පසුගිය පෙබරවාරි 01 වැනිදා එම සමාගම නිකුත් කළ ලිපියක මේ බව සඳහන්ව තිබේ. ඒ අනුව දැනට අඩාල වී ඇති සිය ව්‍යාපාරික මෙහෙයුම් යළි පණ ගැන්වීම සඳහා මහ බැංකුව මගින් ලබා දීමට සැලසුම් කර ඇති ණය සහන පැකේජය යටතේ රජයේ බැංකුවක් හරහා “කාරක ප්‍රාග්ධනයක්” ඉල්ලුම් කර ඇතැයිද ලකී ලංකා සමාගම සඳහන් කර සිටියි.

කොළඹ කොටස් වෙළෙඳ පොළේ ලැයිස්තුගත සමාගමක්ද වන ලකී ලංකා මිල්ක් ප්‍රොසෙසිං සමාගම, ලංකා ඔරික්ස් ලීසිං සමාගමෙන් (LOLC) ලබා ගෙන ඇති ණය මුදලක් ආපසු අය කරගැනීම සඳහා ගන්නා දේපළ වෙන්දේසි කිරීමේ පියවරක් සම්බන්ධයෙන් , LOLC සමාගම පසුගිය ජනවාරි මාසයේ 09 වැනිදා පළ කළ පුවත්පත් දැන්වීමක් පිළිබඳවද කොටස් වෙළෙඳ පොළ දැනුවත් කිරීම සඳහා ලකී ලංකා මිල්ක් ප්‍රොසෙසිං සමාගම මෙම ලිපිය නිකුත් කර තිබේ. 

අදාළ කරුණ සම්බන්ධයෙන් සිය සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය පවා දැනුම්වත් වූයේ එම පුවත්පත් දැන්වීම හරහා බව මෙම ලිපියේ පවසන ලකී ලංකා මිල්ක් ප්‍රොසෙසිං සමාගම මේ වනවිටත් තමන් ඒ සම්බන්ධ උපදේශන සේවාවක් ලබා ගෙන ඇති බව පෙන්වා දෙයි. 

එසේම මෙම ණය ආපසු අය කරගැනීම සඳහා ලංකා ඔරික්ස් ලීසිං සමාගම ඉදිරිපත් කර ඇති යෝජනාව පිළිනොගන්නා ලෙසද සමාගම සිය ප්‍රධාන කොටස්කරුවන්ගෙන් ඉල්ලා සිටියි. මිට අමතරව අදාළ කරුණට විරෝධය දක්වමින් තමන් දැනටමත් අධිකරණ ක්‍රියාමාර්ගයක් ගෙන ඇතැයිද සමාගම දන්වා සිටියි.

මේ අතර, ඉදිරි දිනෙකදී LOLC සමාගමේ ඉහළ කළමනාකාරීත්වය හමුවී මේ පිළිබඳව සාකච්ඡා කර, 2020 මාර්තු 31 වැනිදාට පෙර මෙම ණය මුදල ගෙවා දැමීම පිළිබඳව එකඟතාවකට පැමිණීමටද තමන් දැනටමත් සැලසුම් කර ඇතැයි ලකී ලංකා මිල්ක් ප්‍රොසෙසිං සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.

ලකී ලංකා මිල්ක් ප්‍රොසෙසිං සමාගමට අමතරව එම සමාගම Positive Practical Training Institute ලෙස ධනාත්මක සිතුවිලි සංවර්ධන පුහුණු වැඩසටහන් පවත්වන සමාගමක්, LDB Investment (Pvt) Ltd නමින් සුළු හා මධ්‍ය පරිමාණ කිරි ගොවීන් වෙනුවෙන් ණය පහසුකම් ලබා දෙන සමාගමක් සහ Lucky Lanka Auto (Pvt) Ltd ලෙස මෝටර් රථවාහන අමතර කොටස් ගෙන්වා බෙදාහරින සමාගමක්ද සිය සහෝදර සමාගම් ලෙස පවත්වාගෙන යන බව එහි වෙබ් අඩවියේ සඳහන් වෙයි.

ලාල් කීර්ති ගුණවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් යුත් ලකී ලංකා මිල්ක් ප්‍රොසෙසිං සමාගම කොළඹ නගරයේ ප්‍රධාන ස්ථාන කිහිපයකම සිය කිරි නිෂ්පාදන අලෙවි සැල් ආරම්භ කිරීමට පියවර ගත්තද මේ වනවිට ඒ සියල්ල වසා දමා තිබේ.

2015 වසරේ සිටම ලකී ලංකා සමාගම මෙලෙස පාඩු ලබමින් සිටි බව මාධ්‍ය වාර්තා පවසයි. ඒ අතරින් 2018 වසරේ මාර්තු 31 වැනිදා වන විට සිය අන්තර්වාර මූල්‍ය වාර්තාව ඉදිරිපත් කිරීමට අපොහොසත්වීම නිසාද එම සමාගම කොළඹ කොටස් වෙළෙඳ පොළෙහි Watch List ලැයිස්තුවට ඇතුළත් කෙරී ඇති අතර, මේ වනවිට එහි කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු අත්හිටුවා තිබේ. 

Visits: 190

Leave a Reply

Your email address will not be published. Required fields are marked *