නිදහස් වෙළෙඳ කළාප 15 හි යටිතල පහසුකම් සංවර්ධනයට සැලසුම්

නිදහස් වෙළෙඳ කළාප 15 හි යටිතල පහසුකම් සංවර්ධනයට සැලසුම්

දිවයින පුරා පිහිටා ඇති ආයෝජන මණ්ඩලයට අයත් නිදහස් වෙළෙඳ කලාපවල යටිතල පහසුකම් සංවර්ධන සඳහා කඩිනම් වැඩපිළිවෙලක් සකස් කරන බව රජය පවසයි. කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශය යටතේ මෙම කටයුතු සිදු කෙරේ.

අද වනවිට මෙරට තුළ නිදහස් වෙළෙඳ කාලප 15ක් පිහිටා ඇත. ඉන් පැරණිතම නිදහස් වෙළෙඳ කලාපය වන්නේ 1978 වසරේ ස්ථාපිත කළ කටුනායක නිදහස් වෙළෙඳ කලාපයයි. එහි පිහිටි කර්මාන්තශාලා ගණන 81ක් වන අතර අද වනවිට එහි සේවක සේවිකාවෝ 137,478ක් සිටිති. 

1985 වසරේදී පිහිටවූ බියගම නිදහස් වෙළෙඳ කලාපය තුළ කර්මාන්තශාලා 55ක් ඇත. එහි සිටින සේවක සේවිකාවන් සංඛ්‍යාව 28,588 ක් පමණ වෙයි. කොග්ගල පිහිටි නිදහස් වෙළෙඳ කලාපයේ ඇති කර්මාන්තශාලා ගණන 19ක් වන අතර එහි සේවක සේවිකාවෝ 14,689ක් සේවය කරති.

විශේෂයෙන්ම මෙම නිදහස් වෙළෙඳ කලාප ආශ්‍රිතව පානීය ජලය ඇතුළු තවත් පහසුකම්වල අඩුපාඩු පවතින බව අමාත්‍යාංශය මගින් හඳුනාගෙන ඇත. ඒ අනුව එම අවශ්‍යතාවන් පිළිබඳව වාර්තාවක් ලබා දෙන ලෙස කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

ඒ අනුව නිදහස් වෙළෙඳ කලාප හා අපනයන සැකසුම් කලාප ආශ්‍රිත යටිතල පහසුකම් නංවාලීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා පවසයි.

දැනටමත් සීතාවකපුර නිදහස් වෙළෙඳ කලාපයේ පානීය ජල පහසුකම් සංවර්ධනය සඳහා රුපියල් මිලියන 540ක් රජය විසින් වෙන් කර තිබේ. එහි මේ වනවිට කර්මාන්තශාලා 24ක් පවත්වාගෙන යන අතර, සේවයේ නියුතු සේවක සේවිකාවන් සංඛ්‍යාව 22,534ක් ලෙස ගණන් බලා තිබේ. 

මීට අමතරව බිංගිරිය හා වගවත්ත කර්මාන්තපුරවල පැවැති ගැටලු නිරාකරණය සඳහාද විශේෂ අවධානයක් රජය යොමු කර ඇතැයි පවසයි.

මේ අතර, වත්මන් රජය නැගෙනහිර පළාතේ එරාවුර් ප්‍රදේශයේද නව නිදහස් වෙළෙඳ කලාපයක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන බව අනාවරණය කරයි. මේ සඳහා අක්කර 200ක භූමියක් හඳුනාගෙන ඇත. ඊට අදාළ යටිතල පහසුකම් රජය විසින් ලබා දීමට කටයුතු යොදන අතර ඊට අවශ්‍ය පරිසර ඇගයීම් වාර්තා ලබා ගැනීම මේ වනවිට පියවර ගෙන ඇතැයිද පැවසෙයි. 

එසේම ඊට ආයෝජකයන් සෙවීමේ කටයුතුද මේ වන විට සිදු වෙමින් පවතින බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි.

Visits: 204

Leave a Reply

Your email address will not be published. Required fields are marked *