ද ෆිනෑන්ස් බලපත්‍රය අහෝසි කිරීම වඩාත් සාර්ථකම ක්‍රමයයි – මහ බැංකුව

ද ෆිනෑන්ස් බලපත්‍රය අහෝසි කිරීම වඩාත් සාර්ථකම ක්‍රමයයි – මහ බැංකුව

මහ බැංකු මුදල් මණ්ඩලයේ තීරණයකට අනුව ගනුදෙනු අත්හිටුවා ඇති ද ෆිනෑන්ස් සමාගම සම්බන්ධයෙන් ගත හැකි හොඳම තීන්දුව එහි බලපත්‍රය අහෝසි කර දැමීම බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති එච්.ඒ. කරුණාරත්න මහතා පවසයි. ද ෆිනෑන්ස් සමාගමේ වර්තමාන තත්ත්වය පිළිබඳව කරුණු දක්වමින් ඔහු මේ අදහස් පළ කර සිටියි.

“මෙතැනදී අපිට ලබා ගත හැකි තීන්දු දෙකක් තියෙනවා. එකක් තමයි නව ආයෝජකයෙකු සොයා ගැනීම. එසේ නැත්නම් රජය හෝ මහ බැංකුව මගින් ඊට මුදල් යෙදවිය යුතුයි. එහෙත් මහ බැංකුවට එවැනි අරමුදල් යෙදවීමක් සිදු කරන්න බැහැ. ඒ වගේම තමයි තවමත් මේ සමාගම සඳහා සුදුසු ආයෝජකයෙකු ඉදිරිපත් වෙලා නැහැ. ඒ නිසා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ලෙස අපගේ අදහස වන්නේ ද ෆිනෑන්ස් සමාගමේ බලපත්‍රය අහෝසි කර දැමීමයි.”

කෙසේ වෙතත් රජය මෙම මොහොතේදී අදාළ සමාගම සම්බන්ධයෙන් වෙනත් විකල්පයක් වෙත පිවිසීමට අදහස් කරගෙන තිබේදැයි යන්න තමන් බලන බවත් නියෝජ්‍ය අධිපතිවරයා මෙහිදී පැවසීය.

ද ෆිනෑන්ස් සමාගම තුළ මුදල් ආයෝජනය කළ බොහෝ පිරිස් සෑම විටම තමන්ගේ මුදල් ලබා ගැනීමට උත්සාහ කරනවා. ගනුදෙනු නවතන අවස්ථාව වන විට එහි තැන්පතුකරුවන් 145,000ක් සිටියා. ඉන් තැන්පත්කරුවන් 135,000ක්ම ලක්ෂ හයකට වඩා අඩු තැන්පතු සිදුකළ පිරිස්. ඒ නිසා අපි මේ බලපත්‍රය අහෝසි කළොත් අපිට පුළුවන් වේවි මේ තැන්පතුකරුවන්ගෙන් 94%ක් පමණ වන පිරිසට සහනයක් සලසන්න.” බැංකුවේ නියෝජ්‍ය අධිපති එච්.ඒ. කරුණාරත්න මහතා වැඩිදුරටත් පැවසීය.

2011 අංක 42 දරණ මූල්‍ය ව්‍යාපාර පනත යටතේ 2019 ඔක්තෝබර් 23 වැනිදා සිට ද ෆිනෑන්ස් සමාගම වෙත තවදුරටත් මූල්‍ය ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාමට අදාළ බලපත්‍රය අහෝසි කිරීමේ නිවේදනයක් නිකුත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන තිබුණි.

මේ අතරම අදාළ නිවේදනය නිකුත් කර දින 60ක කාලයක් ඇතුළතදී මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙත අදාළ සමාගම වෙත ලබා දී ඇති බලපත්‍රය සම්බන්ධයෙන් තීරණයක් ගත හැකි බව මෙම මූල්‍ය ව්‍යාපාර පනත යටතේ බලය පවරා ඇතැයිද මහ බැංකුව සඳහන් කර සිටියි.

එසේම ද ෆිනෑන්ස් සදහා ආයෝජකයන් කිහිප දෙනෙකු කැමැත්ත පළ කර තිබෙන බවට කොළඹ කොටස් වෙළෙ පොළ වෙත දැනුම් දී ඇති බවට පළ වූ මාධ්‍ය වාර්තා කිහිපයක්ද ශ්‍රී ලංකා මහ බැංකුව මගින් පසුගිය දෙසැම්බර් 01 වැනිදා ප්‍රතික්ෂේප කළේය.

Visits: 155

Leave a Reply

Your email address will not be published. Required fields are marked *