SME ණය සහන පැකේජයට ඉල්ලුම් කිරීමේ අවසන් දිනය මාසයකින් දිගු කරන්නැයි කොළඹ වාණිජ මණ්ඩලය ඉල්ලයි…

SME ණය සහන පැකේජයට ඉල්ලුම් කිරීමේ අවසන් දිනය මාසයකින් දිගු කරන්නැයි කොළඹ වාණිජ මණ්ඩලය ඉල්ලයි…

රුපියල් මිලියන 300ක් දක්වා ලබා ගෙන ඇති ණය ආපසු ගෙවා ගැනීමට නොහැකි වී සිටින සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් වෙනුවෙන් රජය ලබා දී ඇති ණය සහනය වෙනුවෙන් ලිඛිතව අයැදුම් කිරීම සඳහා වන කාලය තවත් මාසයකින් දිගු කරන්නැයි කොළඹ වාණිජ මණ්ඩලය (CCC) ඉල්ලා සිටියි. 


මෙම කාලසීමාව ලබන ජනවාරි 31 වැනිදායින් අවසන්වීමට නියමිතව තිබේ.


කොළඹ වාණිජ මණ්ඩලයේ සභාපති සාරංග විජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේදී පැවැති මාධ්‍ය හමුවකදී මේ කරුණු අනාවරණය කෙරිණි. 


විශේෂයෙන්ම පසුගිය ජනවාරි 13 වැනිදා ලබා දුන් මෙම ණය සහන පැකේජයට ඉල්ලුම් කිරීමට සති දෙකක කාලයක් ප්‍රමාණවත් නොවීම කොළඹ වාණිජ මණ්ඩලය මෙම යෝජනාව සිදු කිරීමට හේතුව බවත් ඔවුන් දන්වා සිටියි.


මෙම ප්‍රධාන යෝජනාවට අමතරව එම ණය පැකේජයට අදාළව තවත් යෝජනා හතරක්ද කොළඹ වාණිජ මණ්ඩලය මෙහිදී ඉදිරිපත් කර සිටියි.


එහි පළමුවැන්න ලෙස මෙම ණය සහනය සඳහා මූල්‍ය සමාගම්ද ඇතුළත් විය යුතු බව ඔවුන් පෙන්වා දෙයි. ඒ අනුව රුපියල් මිලියන 3ත් 5ත් අතර උපරිමයකට යටත්ව මෙම මූල්‍ය සමාගම්ද ඊට එකතු කරගත යුතු බව ඔවුන්ගේ අදහස වී තිබේ. දැනට මෙම සහනය යටතේ ආවරණය වන්නේ බලපත්‍රලාභී බැංකු හරහා ලබා ගත් ණය පමණකි.


එසේම මෙම සහන පැකේජය පිළිබඳව ව්‍යවසායකයන් තුළ පවතින දැනුවත්බව සහ වැටහීම ප්‍රමාණවත් නොවන බව පෙන්වා දෙන ඔවුන් ඒ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු බවටද රජයට පෙන්වා දෙයි. 


මේ අතර, මෙම ණය සහන පැකේජය පිළිබඳව කොළඹින් පිට සිටින ව්‍යාපාරිකයන් වෙත තොරතුරු ලබා ගැනීම සඳහා සහායවීමට ක්ෂණික දුරකතන අංකයක් ලබා දෙන ලෙසත් කොළඹ වාණිජ මණ්ඩලය ඉල්ලා සිටියි. එසේම ඊට අදාළ උපදෙස් ලබා දීම සඳහා මෙම ණය පැකේජය පිළිබඳව ප්‍රාමාණික දැනුමක් ඇති පිරිසක් අනුයුක්ත කරන ලෙසද ඔවුන් දන්වයි.


මීට අමතරව අදාළ ණය පැකේජයේ සඳහන් ආකාරයට මහ බැංකුව මගින් ලබා දෙන අමතර ණය පහසුකම් වෙනුවෙන් ලබා දෙන ණය ඇපකර යෝජනා ක්‍රමයේදී සහනදායී ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන ලෙස බැංකු වෙත මගපෙන්වීමක් ලබා දෙන ලෙසද කොළඹ වාණිජ මණ්ඩලය යෝජනා කරයි.


වාර්ෂික පිරිවැටුම රුපියල් මිලියන 16 සිට රුපියල් මිලියන 750 දක්වා වූ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයන් හරහා ලබා ගෙන ඇති රුපියල් මිලියන 300 ක් දක්වා වූ ණය ආපසු ගෙවීම සඳහා පමා සහන කාලයක් ඇතුළුව තවත් සහන රැසක් සහිත ණය සහන පැකේජයක් රජය විසින් පසුගිය ජනවාරි 13 දා ඉදිරිපත් කර තිබුණි. 


ශ්‍රී ලංකා මහ බැංකුවේ නිර්දේශ අනුව රජයේ මැදිහත්වීමෙන් මෙම ණය සහන පැකේජය ලබා දීම සිදු විය. ඒ අනුව තමන් ණය ලබා ගත් බැංකු වෙත එම ණය සහන පැකේජය සදහා ලිඛිතව ඉල්ලීම් කිරීමට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් වෙත ජනවාරි 31 වැනිදා දක්වා කාලය ලබා දී තිබුණි.


කෙසේ වෙතත් සියලුම අංශ ආවරණය වන පරිද්දෙන් ලබා දී ඇති මෙම ණය සහන පැකේජය හෝ ඊට අදාළ සහන වැඩසටහන් පිළිබඳව මෙතෙක් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් තුළ එතරම් පැහැදිලි වැටහීමක් නොමැති බව කොළඹ වාණිජ මණ්ඩලයේ අදහස බවත් මෙහිදී සඳහන් කෙරිණි.


එසේම මෙම ණය සහන පැකේජය සඳහා ලබා දෙන පිරිවැටුම් සීමාව මගින් ක්ෂුද්‍ර ව්‍යවසායන් ආවරණය නොවන බවත්, මීට පරිබාහිර ක්‍රමවේදයක් යටතේ එම මට්ටමේ ව්‍යවසායන්ද යළි නගා සිටුවීම සඳහා කටයුතු කරන ලෙස තමන් රජයෙන් ඉල්ලා සිටින බවත් කොළඹ වාණිජ මණ්ඩලය වැඩිදුරටත් පවසා සිටියි.

Visits: 65

Leave a Reply

Your email address will not be published. Required fields are marked *