ශ්‍රී ලංකා ටෙලිකොම්හි නව අධ්‍යක්ෂ මණ්ඩලය පත් කෙරේ

– සෙල්ටෙල්හි ප්‍රධාන ඉංජිනේරුවරයා, මාතලේ හිටපු නියෝජ්‍ය නගරාධිපතිවරයා, අයවැය දෙපාර්තමේන්තු හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයා, රේන්බෝ පේජස් නිර්මාතෘවරයා නව අධ්‍යක්ෂ මණ්ඩලයට –

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ නව අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා සාමාජිකයන් පත් කිරීම ප්‍රසිද්ධියට පත්ව තිබේ.

ඒ අනුව ඉංජිනේරු ලලිත් සෙනෙවිරත්න, ජනාධිපති නීතීඥ මොහාන් වීරකෝන්, පරිපාලන සේවා නිලධාරී ආනන්ද කිත්සිරි සෙනෙවිරත්න, ඉංජිනේරු රංජිත් ගංගානාත් රූබසිංහ යන මහත්වරුන් මෙලෙස ශ්‍රී ලංකා ටෙලිකොම්හි නව අධ්‍යක්ෂ මණ්ඩලය වෙත පත්වීම් ලැබ ඇත. 

ඔවුන් සියලු දෙනාම ස්වාධීන – විධායක නොවන අධ්‍යක්ෂවරුන් ලෙස පත්ව ඇත.

මේ අතරින් ඉංජිනේරු ලලිත් සෙනෙවිරත්න මහතා, බ්‍රිතාන්‍යයේ කෙන්ට් විශ්වවිද්‍යාලයෙන් ඉලෙක්ට්‍රොනික විද්‍යාව සහ කැනඩාවේ කැල්ගරි විශ්වවිද්‍යාලයෙන් විද්‍යුත් ඉංජිනේරුවිද්‍යාව පිළිබඳව උපාධිය ලබා ගෙන ඇත. 1982 වසරේදී එවකට ශ්‍රී ලංකා දුරකතන සන්නිවේදන දෙපාර්තමේන්තුව ලෙස හැඳින්වුණු වත්මන් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය හා බැඳුණු සෙනෙවිරත්න මහතා, 1988 දී දකුණු ආසියාවේ පළමු ජංගම දුරකතන ජාලය ලෙස බිහි වූ ‘සෙල්ටෙල්හි’ ඉංජිනේරු ප්‍රධානියා ලෙස පත්වීම් ලැබ ඇත. පසුව ඔහු මොටොරෝලා සමාගමේ කලාපීය ප්‍රධානියා ලෙස සිංගප්පූරුවේ සේවය කර තිබේ.

2017 වසරේදී ජනාධිපති නීතිඥවරයෙකු ලෙස පත්වීම් ලැබූ මොහාන් වීරකෝන් මහතා වසර 36කට වැඩි කාලයක් සිවිල් සහ අපරාධ නඩු සම්බන්ධ අත්දැකීම් සහිත ප්‍රවීණ නීතීඥවරයෙකි. මීට පෙර ඔහු සිංහපුත්‍ර ෆිනෑන්ස් හි අධ්‍යක්ෂවරයෙකු ලෙස මෙන්ම එහි ජ්‍යෙෂ්ට නීති උපදේශකවරයා ලෙසද කටයුතු කර ඇත. එසේම ඔහු මාතලේ මහ නගර සභාවේ හිටපු නියෝජ්‍ය නගරාධිපතිවරයාද වෙයි.

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ අධි ශ්‍රේණියේ නිලධාරියෙකු වන ආනන්ද කිත්සිරි සෙනෙවිරත්න මහතා 2018 වසරේදී ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළේය. 1995 වසරේදී පරිපාලන සේවාව වෙත එක්ව ඇති ඒ මහතා, මුදල් අමාත්‍යාංශය යටතේ පැවැති ආයතනවල මහභාණ්ඩාර නියෝජිතයා ලෙස අධ්‍යක්ෂධුරය දරා ඇත.

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ වසර 18කට වඩා වැඩි කාලයක් සේවය කර ඇති රංජිත් ගන්ගානාත් රූබසිංහ මහතා ශ්‍රී ලංකා ටෙලිකොම්හි තවත් අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා තාක්ෂණික විශ්වවිද්‍යාලයේ ආරම්භක සභාපතිවරයා සහ ප්‍රධාන විධායක නිලධාරියාද වෙයි. එසේම ඔහු කලක් මොබිටෙල් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙසද කටයුතු කර ඇත. සුප්‍රසිද්ධ ‘යෙලෝ පේජස්’ දුරකතන නාමාවලියට විකල්පය ලෙස 2006 වසරේදී ශ්‍රී ලංකා ටෙලිකොම් මගින් ප්‍රකාශයට පත් කරන ලද රේන්බෝ පේජස් හි නිර්මාතෘවරයා වන්නේද රූබසිංහ මහතාය. අද වනවිට ඒ මහතා මරදානේ පිහිටි TRACE ආයතනයේ සභාපතිවරයාද වෙයි.

ටෙලිකොම් සමාගමේ සභාපතිවරයා ලෙස මෙරට ප්‍රකට අපනයනකරුවෙකු වන රොහාන් ප්‍රනාන්දු මහතා පත් කෙරී ඇත. ඔහු හිටපු අමාත්‍ය සරත් අමුණුගම මහතාගේ බෑණාද වෙයි.

Visits: 45

Leave a Reply

Your email address will not be published. Required fields are marked *