සංචාරක සංවර්ධනයට සංචාරක ප්‍රජා පාදක ගම්මාන 07ක්…

මෙරට තුළ සංචාරක කර්මාන්තය ව්‍යාප්ත කිරීමේ අරමුණින් දිස්ත්‍රික්ක හතක් තුළ සංචාරක ප්‍රජා පාදක ගම්මාන 07ක් ස්ථාපිත කරන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි. 

මේ හරහා සංචාරක කර්මාන්තයේ ප්‍රතිලාභ එම ප්‍රජාවට ලබා දීම අරමුණ වී තිබේ.

ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ හීල් ඔය, මාතලේ දිස්ත්‍රික්කයේ ඇටන්වල, ගාල්ල දිස්ත්‍රික්කයේ මෙදේරිපිටිය, බදුල්ල දිස්ත්‍රික්කයේ බොඹුරු ඇල්ල, ගාල්ල දිස්ත්‍රික්කයේ ගොඩහේන, මාතර දිස්ත්‍රික්කයේ වෙහෙරහේන හා රත්නපුර දිස්ත්‍රික්කයේ සීලෝගම යන ගම්මාන සංචාරක ප්‍රජා පාදක ගම්මාන ලෙස සංවර්ධනය කිරීමට තෝරා ගෙන තිබේ.

ඒ අතරින් මාතලේ දිස්ත්‍රික්කයේ ඇටන්වල ව්‍යාපෘතිය වෙනුවෙන් එක්සත් ජනපද ඩොලර් මිලියන 5.06ක ප්‍රතිපාදන දැනටමත් කොරියානු රජයෙන් ලැබී ඇතැයිද අමාත්‍යාංශය පවසයි.

“මෙම ව්‍යාපෘතිය යටතේ මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයන්ට මෙරට සංස්කෘතිමය අත්දැකීම් ලබා ගැනීමට ඉඩකඩ සැලසෙනවා. මේ වන විට ලෝකයේ සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවණතාවය වී ඇත්තේ අත්දැකීම් ලබා ගැනීමයි. ස්ථාන නැරඹීම වෙනුවට අත්දැකීම් ලබා ගැනීමට සංචාරකයන් වැඩි නැඹුරුතාවක් දක්වනවා.” සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

මෙහිදී අදාළ ගම්මානවල යටිතල පහසුකම් සංචාරක ක්ෂේත්‍රයට ගැලපෙන ලෙස සංවර්ධනය කෙරෙන බවද අමාත්‍යාංශය පවසයි. 

එසේම මෙරට සංස්කෘතික හා සමාජ හර පද්ධතිවලට කිසිදු ගැටලුවක් නොවන ආකාරයෙන් මෙම ව්‍යාපෘති කරන ලෙස අදාළ බලධාරීන්ට උපදෙස් දී ඇතැයිද අමාත්‍යාංශය සඳහන් කරයි.

Visits: 45

Leave a Reply

Your email address will not be published. Required fields are marked *