චීන සංචාරකයන්ට සේවය සැලසීමට චීන සමාගමකම සේවය ලබා ගනී…

චීන සංචාරකයන්ට සේවය සැලසීමට චීන සමාගමකම සේවය ලබා ගනී…

සංචාරය සඳහා හෝ වෙනත් රාජකාරි සඳහා මෙරටට පැමිණෙන චීන ජාතිකයන්ට විද්‍යුත් ගමන් අවසර පත්‍ර ක්‍රමවේදය හරහා වීසා අවසර පත්‍ර ලබා ගැනීමේ කටයුතු පහසු කරවීමේ අරමුණින් පෞද්ගලික නියෝජිතායතනයක සේවය ලබා ගැනීමට රජය අවදානය යොමු කර ඇතැයි වාර්තා වෙයි. 

ඒ අනුව රටවල් ගණනාවකදී එම සේවය ලබා දී ඇති පළපුරුදු නියෝජිතායතනයක් වන චීනයේ ෂැංහයි නුවර පිහිටි සීමාසහිත ට්‍රැවල්සන් ඉන්ටර්නැෂනල් ට්‍රැවල් සර්විසස් (ෂැංහයි) නම් සමාගමක සේවය ලබා ගැනීමට තීරණය කෙරී ඇත. 

අද පෙරවරුවේදී ඉදිරිපත් කෙරුණු කැබිනට් මණ්ඩල තීරණ දැනුම් දීමේදී මේ පිළිබඳ කරුණු අනාවරණය විය.

දැනට මෙරට තුළ අනුගමනය කරනු ලබන විද්‍යුත් ගමන් අවසර පත්‍ර (ETA – Electronic Travel Authorization) ලබා දීමේ ක්‍රමවේදය ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් ක්‍රියාත්මක වන නිසා ශ්‍රී ලංකාවට පැමිණෙන චීන සංචාරකයන්ට වීසා ලබා ගැනීමේදී ප්‍රමාදයන්ට මුහුණ පෑමට සිදුවීම මෙලෙස පෞද්ගලික නියෝජිතයාතනයක සේවය ලබා ගැනීමට හේතු වූ බව රජය පවසයි.

මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍යවරයා, අභ්‍යන්තර වෙළෙඳ, ආහාර සුරක්ෂිතතාව සහ පාරිභෝගික සුභසාධන අමාත්‍යවරයා සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබේ.

ශ්‍රී ලංකාවේ ආගමන විගමන දෙපාර්තමේන්තුව මගින් 2012 වසරේ සිට මෙම විද්‍යුත් ගමන් අවසර පත්‍ර ක්‍රමවේදය අනුගමනය කරමින් සිටියි. 

අද වනවිට යුරෝපා සංගමයට අයත් රටවල් 28ද ඇතුළුව ලොව රටවල් 48කට මෙම මෙම විද්‍යුත් ගමන් අවසර පත්‍ර ක්‍රමවේදය ලබාදී තිබේ.

විශේෂයෙන්ම ශ්‍රී ලංකාව මේ වන විට චීන සංචාරකයන්ගේ වැඩි ආකර්ෂණයක් සහිත රටක් වීම රජයේ මෙම තීරණයට තවත් හේතුවක් වී ඇත. 

දැනට වසර කිහිපයක සිටම ඉන්දියාවට පසුව මෙරටට වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණෙන දෙවැනි රට වන්නේ චීනයයි. 

2016 වසරේදී මෙරටට පැමිණි චීන සංචාරකයන් සංඛ්‍යාව 271,577 කි. 2017 දී එය 268,952කි. එසේම 2018 වසරේදී චීන සංචාරකයන් 265,965 ක් මෙරටට පැමිණ ඇත.

2019 වසරේ ජනවාරි සිට නොවැම්බර් දක්වා මෙරටට පැමිණ ඇති චීන සංචාරකයන් සංඛ්‍යාව 151,215 කි.

පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී සිදුවුණු පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් පසුව කඩා වැටුණු සංචාරක කර්මාන්තය නඟා සිටුවීමේ අරමුණින් මෙම වීසා නිකුත් කිරීම ගාස්තු අයකිරීමකින් තොරව සිදු කිරිමටද රජය තීරණය කර තිබුණි. 

එම කාලසීමාව ලබන අප්‍රේල් මාසයේ 30 වැනිදා දක්වා දික් කිරීමක්ද සිදුව තිබේ.

Visits: 19

Leave a Reply

Your email address will not be published. Required fields are marked *