බැදුම්කර ගනුදෙනු පිළිබඳ වෝහාරික විගණන හයෙන් පහකට රුපියල් මිලියන 275ක් වැය වෙලා…

මහ බැංකු බැඳුම්කර නිකුත් කිරීම් පිළිබඳව විමර්ශනය කිරීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කරන ලද ජනාධිපති කොමිෂන් සභාවේ නියමය අනුව මේ දක්වා සිදුකර ඇති මහ බැංකු බැඳුම්කර පිළිබඳ වෝහාරික විගණන පහක් සඳහා රුපියල් මිලියන 275ක මුදලක් වැය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

විවිධ දේශපාලනඥයන්ගේ අදහස් දැක්වීම් උපුටා දක්වමින් දැනට මාධ්‍ය හරහා ප්‍රචාරය වන ආකාරයට මෙම විමර්ශන සඳහා රුපියල්මිලියන 900 කට අධික මුදලක් වැය වී ඇතැයි සඳහන් කරුණුවලට ප්‍රතිචාර දක්වමින් මහ බැංකුව මේ බව පවසා සිටියි.

කෙසේ වෙතත් මෙම මුදල වැය වී ඇත්තේ වෝහාරික විගණන වාර්තා හයෙන් පහක් සඳහා පමණි. 

හය වන වෝහාරික විගණනයෙහි ප්‍රසම්පාදන කටයුතු මේ වනවිට සිදු කෙරෙමින් පවතින බවත් මහ බැංකුව පවසයි.

හිටපු මහ බැංකු අධිපතිවරයෙකුව සිටි අර්ජුන් ඇලෝසියස්ගේ බෑණාට අයත් පර්පර්චුවල් ට්‍රෙෂරීස් නම් සමාගම හරහා මහ බැංකු බැඳුම්කර මිලදී ගැනීමේදී සිදු කර ඇති වංචාවෙන් සම්බන්ධයෙන් විමර්ශනය සඳහා මෙම ජනාධිපති කොමිෂම පත් කෙරිණි.

මෙම ගනුදෙනුව හරහා සේවක අර්ථසාධක අරමුදලට රුපියල් බිලියන 11ක පාඩුවක් සිදුව ඇතැයි වාර්තා පවසයි.

එහිදී 2015 පෙබරවාරි 01 සිට 2016 මාර්තු 31 වැනිදා දක්වා කාලසීමාව තුළදී භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව විමර්ශනය කිරීම, පරීක්ෂා කිරීම සහ වාර්තා කිරීම මෙම කොමිෂම මගින් සිදු විය. 

එහි නිර්දේශයන්ද, අනෙකුත් විගණන වාර්තා සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ නියාමන සහ නියෝජිත කාර්යයන් සම්බන්ධයෙන් සිදුකරන අභ්‍යන්තර විමර්ශන වාර්තා මගින් පසුගිය වසර කිහිපයේදී අනාවරණය වූ කරුණු අනුව වෝහාරික විගණන හයක් සිදු කිරීම ආරම්භ විය. 

ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් විගණකාධිපතිතුමාගේ සහ නීතිපතිතුමාගේ උපදෙස් අනුව 2002 වසරේ සිට 2015 දක්වා කාලය තුළදී සිදු කෙරුණු බැදුම්කර ගණුදෙනු පිළිබඳ වෝහාරික විගණනයන් සිදු කෙරිණි. 

එහිදී වෝහාරික විගණන පහක් සඳහා වූ ප්‍රසම්පාදන කටයුතු අමාත්‍ය මණ්ඩල උපදේශන ප්‍රසම්පාදන කමිටුවක් මගින් සිදුකරන ලද අතර, එම විගණන කටයුතු පිළිබද කොන්ත්‍රාත්තු වෝහාරික විගණන පිළිබඳ ගෝලීය දැනුමක් සහ ජාත්‍යන්තර පළපුරුද්දක් සහිත විගණන සමාගම් වෙත ප්‍රදානය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබුණි.

අවසන් කර ඇති මෙම වෝහාරික විගණන පහ නීතිපතිතුමාගේ අවසරය මත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පරිශීලනය සඳහා ලබා දීමට කතානායකවරයාද ඊයේ තීරණයක් ගත්තේය. 

කෙසේ වෙතත් මෙම බැදුම්කර වංචා හරහා මෙන්ම ඒ පිළිබදව සිදුකළ පරීක්ෂා කිරීම් හරහාද අහිමි වී ඇත්තේ රටෙහි ජනතාවගේ මුදල්ය.

Visits: 21

Leave a Reply

Your email address will not be published. Required fields are marked *