රනිල්ගේ PPP ආයතනය මහින්ද වසා දමයි

රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වය යටතේ මෙරට තුළ ව්‍යාපාර ආරම්භ කර පවත්වාගෙන යාම සඳහා පහසුකම් සැලසීම වෙනුවෙන් පිහිටුවා තිබූ රාජ්‍ය – පෞද්ගලික සහයෝගීතාවය සඳහා වන ජාතික ආයතනය (NAPP – NATIONAL AGENCY FOR PUBLIC PRIVATE PARTNERSHIPS) වසා දැමීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ. 

අද පෙරවරුවේදී ප්‍රකාශයට පත් කෙරුණු කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දීමේදී මේ පිළිබඳ කරුණු අනාවරණය විය. 

මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සම්පාදන අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙම අහෝසි කිරීමට අදාළ යෝජනාව ඉදිරිපත් කර තිබේ.

2017 වසරේදී හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් පැවැති යහපාලන රජයේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ස්වාධීන ඒකකයක් ලෙස මෙම රාජ්‍ය – පෞද්ගලික සහයෝගීතාවය සඳහා වන ජාතික ආයතනය පිහිටුවීම සිදු විය. ඒ හරහා රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්ව ව්‍යාපෘති වෙනුවෙන් පහසුකම් සැලසීම අරමුණ විය. 

2017 ජූලි 19 වැනිදා ඊට අදාළ කැබිනට් අනුමැතිය හිමිව තිබුණි. භාණ්ඩාගාර ලේකම් සහ අනෙකුත් නිලධාරීන්ගෙන් සමන්විත උපදේශක මණ්ඩලයක් සහිත 20 දෙනෙකුගෙන් මෙම ආයතනය සමන්විත විය.

තිලාන් විජේසිංහ මහතා එහි සභාපතිවරයා සහ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරියා විය. (ඔහු 1996 – 2000 කාලසීමාවේ ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා ලෙසද කටයුතු කළේය.)

මෙම රාජ්‍ය – පෞද්ගලික සහයෝගීතාවය සඳහා වන ජාතික ආයතනය මගින් අධ්‍යාපන, නිවාස, විදුලිබල/බලශක්ති, ප්‍රවාහන සහ මහාමාර්ග සහ සංචාරක යන ක්ෂේත්‍ර තුළ පහසුකම් සැලසීමට අවධානය යොමු කර තිබූ බව එහි වෙබ් අඩවියේ සඳහන් වෙයි. 

එසේම මෙය යහපාලන රජය ක්‍රියාත්මක කළ ‘දැක්ම 2020’ වැඩසටහන සඳහාද ඍජුවම සම්බන්ධ විය. 

කෙසේ වෙතත් 2019 වසරේ ආරම්භයත් සමගම මෙම රාජ්‍ය – පෞද්ගලික සහයෝගීතාවය සඳහා වන ජාතික ආයතනයේ කටයුතුද ඇණ හිට තිබුණි.

වත්මන් රජය මගින් මේ වනවිටත් සිය ක්‍රියාකාරකම් විධිමත් කිරීමට හා කාර්යයන් ඒකාබද්ධ කිරීමට කටයුතු කිරීම හේතුවෙන් මෙවැනි ඒකකයක් පවත්වාගෙන යෑමේ අවශ්‍යතාවක් නොමැති බව හඳුනාගෙන ඇතැයි මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව මෙම ආයතන වසා දැමීමට අදාළ කටයුතු සිදු කිරීම සඳහා භාණ්ඩාගාර ලේකම් වෙත බලය පැවරීම සඳහා මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍යවරයා මෙම යෝජනාව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබේ.

Visits: 24

Leave a Reply

Your email address will not be published. Required fields are marked *