ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් – සිටිගෘප් ගනුදෙනුවත් සමග …

වසර 11කට පසුව කොළඹ කොටස් වෙළෙඳ පොළ ඉහළම පිරිවැටුම පෙන්වයි

කොළඹ කොටස් වෙළෙඳ පොළ කටයුතු අද දිනයේදී ඉතාමත් සාර්ථක වර්ධනයක් පෙන්නුම් කර තිබේ. 

ඒ අනුව සමස්ත කොටස් මිල දර්ශකය අද දිනය අවසන් වන විට ඒකක 5,987.55ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ දිනයට අනුරූපව කොටස් 88.71ක සහ 1.50%ක වර්ධනයක් සටහන් කෙරිණි. 

එසේම ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් දර්ශකයද අද දිනයේදී ඒකක 2,830.76ක් මට්ටමට පත්ව තිබූ අතර, එය ඊයේ දිනයට අනුරූපව කොටස් 48.31 ක සහ 1.74%ක වර්ධනයක් සටහන් කෙරිණි.

ඒ අනුව දිනය නිමා වනවිට ගනුදෙනු වුණු සමස්ත කොටස් ප්‍රමාණය කොටස් මිලියන 175ක් (175,737,775) ලෙස සටහන්ව තිබූ අතර දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 23.6ක් (23,633,541,029.30) ලෙස සටහන් විය.

විශේෂයෙන්ම මැලේසියානු රජය යටතේ ක්‍රියාත්මක කසානා නැෂනල් බර්න්හාඩ් සතුව තිබු ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් 10.8%ක කොටස් ප්‍රතිශතයක් එනම් කොටස් මිලියන 141.9 (141,854,717)ක් අද පෙරවරුවේදී සිටි ගෘප් වෙත රුපියල් බිලියන 22.6ක මුදලකට විකුණා දැමීම මෙලෙස කොළඹ කොටස් වෙළෙඳ පොළ තුළ රුපියල් බිලියන 23.6ක පිරිවැටුමක් වාර්තා කිරීමට හේතු වී තිබේ.

මීට පෙර කොටස් වෙළෙඳ පොළ තුළ මෙවැනි ඉහළ පිරිවැටුමක් වාර්තා වී තිබුණේ 2008 වසරේදීය. 

ඒ ජපානයේ එන්.ටී.ටී. කමියුනිකේෂන්ස් සමාගම සතු වූ ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ 44.8%ක වූ කොටස් ප්‍රතිශතයක් නෙදර්ලන්තයේ ග්ලෝබල් ටෙලිකොමියුනිකේෂන් හෝල්ඩිංග්ස් සමාගම මගින් මිලදී ගැනීමත් සමගිනි.

රුපියල් බිලියන 33කට එම ගනුදෙනුව අවසන් විය. 

ඒ අනුව වසර 11කට පසුව කොටස් වෙළෙඳ පොළ තුළ මෙවැනි ඉහළ පිරිවැටුමක් පෙන්වූ අවස්ථාවක් බවටද ඉතිහාසයට එක්ව ඇතැයි කොටස් වෙළෙඳ පොළ ආරංචි මාර්ග පෙන්වා දෙයි.

Visits: 55

Leave a Reply

Your email address will not be published. Required fields are marked *