Wow.lk චීනයේ ‘අලි බාබාට’ භාරදුන් නුෂාඩ්ට රජය ‘ලංකා සතොස’ භාරදීමට යයි…

රජයට අයත් දැවැන්ත සිල්ලර වෙළෙඳ ජාලයක් වන ලංකා සතොස සමාග‍මේ නව සභාපතිවරයා ලෙස මෙරට අලෙවිකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ චරිතයක් වන ආචාර්ය නුෂාඩ් පෙරේරා නම් කෙරී ඇතැයි මාධ්‍ය වාර්තා පවසයි. 

මේ වනවිට ඔහු ඩයලොග් ආසියාටා සමාගමේ ප්‍රධාන ඩිජිටල් සේවා නිලධාරියා ලෙසද කටයුතු කරයි. 

බොහෝ විට ඔහු මෙම සභාපති තනතුර වැටුප් ලබා නොගන්නා ගරු සේවයක් ලෙස ඉටු කිරීමේ අවස්ථාවක් පවතින බවත් සඳහන් වෙයි.

ආචාර්ය නුෂාඩ් මහතා වසර 30කට ආසන්න කාලයක් ඩයලොග් සමාගම හා එක්ව කටයුතු කරමින් සිටියි. ඒ අතරින් වසර 15කට ආසන්න කාලයක් ඔහු සමාගමේ අලෙවිකරණ කටයුතු හා සම්බන්ධ විය. 

ඩයලොග් සන්නාමය තුළ ‘අනාගතය අදයි’ යන සංකල්පය නිර්මාණය කිරීමේ පිටුපස සිටියේද ආචාර්ය නුෂාඩ් පෙරේරා මහතා ප්‍රධාන කණ්ඩායමයි. 

එසේම 2006 වසරේදී ආරම්භ කෙරුණු ඩයලොග් TV සමාගමේ මූලාරම්භකයා වන්නේද ආචාර්ය නුෂාඩ් ය. 

2005 වසරේදී මුහුන්දන් කනගේ මහතා ආරම්භ කළ CBN Sat ආයතනය මිලදී ගැනීමෙන් ඩයලොග් TV බිහි විය. 

මීට අමතරව ඩයලොග් ආයතනයේ අන්තර්ජාල භාණ්ඩ අලෙවි වෙබ් අඩවිය වූ www.wow.lk හි ප්‍රධාන විධායක නිලධාරියා වූයේද ආචාර්ය නුෂාඩ් ය. 

එම වෙබ් අඩවියේ මෙහෙයුම් සියල්ල චීනයේ අලිබාබාට අයත් Daraz International හි මෙරට වෙබ් අඩවිය වන Daraz.lk වෙත පසුගියදා භාරදුන්නේද ඔහු අතින්මය.

ආචාර්ය නුෂාඩ් ශ්‍රී ලංකාවට අමතරව මැලේසියාව, ඉන්දුනීසියාව, බංග්ලාදේශය සහ නේපාලය යන රටවල පිහිටි ආසියාටා මව් සමාගමට අයත් සමාගම් වෙතද සිය සේවය ලබා දී ඇත. 

වරලත් ගණකාධිකරණ ආයතනයේ සාමාජිකයෙකුද වන ආචාර්ය නුෂාඩ් පෙරේරා මහතා, 2001 වසරේදී “CIM වසරේ අලෙවිකරුවා’ ලෙස සම්මානයට පාත්‍ර විය.

එසේම 2007 වසරේදී ඒෂියා බ්‍රෑන්ඩ් කොංග්‍රසය මගින් පිරිනැමූ ‘ග්ලෝබල් බ්‍රෑන්ඩ් ලීඩර්ෂිප් අවෝර්ඩ්’ සම්මානයෙන්ද ඔහු පිදුම් ලබා තිබේ.

ලංකා සතොස වෙළෙඳ ආයතනය සතුව මේ වනවිට දිවයින පුරා ව්‍යාප්ත 400කට අධික ශාඛා ජාලයක් පවතී. 

හැකි ඉක්මණින්ම එම ශාඛා සංඛ්‍යාව 500ක් බවට පත් කිරීම ලංකා සතොසේ අරමුණ වී ඇත. මේ වනවිට ලංකා සතොස ජාලය සතුව 5,000කට අධික කාර්ය මණ්ඩලයක් සිටියි. 

එසේම අද වනවිට ලක්ෂ 30කට ආසන්න ගනුදෙනුකරුවන් පිරිසක් ලංකා සතොස හා සම්බන්ධව සිටින බවත් එම සමාගම පවසයි.

කෙසේ වෙතත් මේ වනවිට රජයට අයත් ව්‍යවසායන් අතරින් පාඩු ලබන ව්‍යවසායක් ලෙසට සතොස හඳුනාගෙන ඇත. 

2016 වසරේදී ලංකා සතොස ලැබූ අලාභය රුපියල් බිලියන 4.5 කි. ලංකා සතොසේ අනිසි කළමනාකරණය මේ තත්ත්වයට හේතු වී ඇත.

Visits: 61

Leave a Reply

Your email address will not be published. Required fields are marked *